Sati Pasala or How to Practice Mindfulness

Message from Most Ven U. Dhammajiva Thero

අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේගේ පණිවුඩය

 

සති පාසල’ නම් වූ පාසල් මට්ටමේ මෙම වැදගත් වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට, ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූවකු වශයෙන් අවස්ථාවක් ලැබීමම ඉමහත් සතුටට කරුණකි.

පසුගිය තිස් පස්(35) වසරක කාලය තුළ ජීවිත පර්යේෂණයක් ලෙස මම සතිය පුහුණු කළෙමි. සතිය පිළිබඳව මගේ විශ්වාසය අසීමිතය. සති පුහුණුව පෙරදැරි කරගනිමින් මවිසින් කරන ලද සියලුම කාර්ය හා භාරගත් සියලුම වගකීම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව නිම කිරීමට මා හට හැකි විය. එමෙන්ම විවිධ දුෂ්කර අභියෝග හමුවේ සියලු කාර්ය විජයග්‍රාහීව සිදු කළ හැකි වූයේ, අප්‍රමාදීව සතිමත් බව ක්‍රියාවේ යෙදවීම නිසා බව කෘතවේදීව සිහි කරමි.

සතිමත් බවේ ගමන මා ආරම්භ කළේ වයස අවුරුදු විසිහයේදීය. දශක ගණනාවක් පුරා ලද අත්දැකීම් අනුව මා හට ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක්කේ, මේ පුහුණුව ලබන ළමුන් ළාබාල බවින් වැඩි වන තරමට, පුහුණුවේ ප්‍රතිලාභද ඒ තරමට අධික වන බවයි. එනිසාම මෙම පුහුණුව පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීම හද පිරි සතුටට කරුණකි. එහෙත් අරඹන මෙම වැඩ සටහන බොහෝ කල්පනාකාරීව හා පරිස්සමින් කළ යුතු බව ඉතා සංවේදීව සිහිපත් කරමි.

ආරම්භක පියවරක් ලෙස මාස කීපයක් මුළුල්ලේ අප විසින් මෙම ‘සති පාසල‘ වැඩ සටහන මීතිරිගල පාසල් හා අවට දහම් පාසල් කීපයක ළමුන් සම්බන්ධ කරගනිමින් සීමිතව අත්හදා බලන ලදි. එසේ සහභාගී වීමට උනන්දුව දැක්වූ ළමෝ ඒ සඳහා දිරිමත් කරමින් කෙටි කාලීනව පුහුණු කරන ලදහ. එසේ පුහුණු කිරීමෙන් ලද ප්‍රතිචාරවලින් මම අතිශයින්ම ධෛර්යයට පත් වීමි. ඒ ප්‍රතිචාර, මෙය දීප ව්‍යාප්ත කිරීමට තරම් දිරියක් දුන් සාධකයක් විය.

මෙම වැඩසටහන පිළිබඳව කරුණු කීපයක් අවධාරණය කරනු කැමැත්තෙමි.

  1. මෙම ‘සති පාසල’ වැඩ සටහන ස්වේච්ඡාවෙන් සහභාගි වීමට කැමැත්ත පළ කරන පාසල් සඳහා අරමුණු කරගත්තකි. කැමැත්ත ප්‍රකාශ කරන ඕනෑම පාසලක් බඳවාගනු ලැබේ.
  2. සතිමත් බව පුහුණුව ආගම් භේදයකින් තොරව සිදු කෙරේ. මෙය කිසිම ආගමකට සම්බන්ධ නොවූ වැඩ සටහනක් ලෙස හඳුන්වා දෙමු.
  3. මෙයින් බලාපොරොත්තු වන්නේ, පන්ති කාමරය තුළදී, ගුරුවරු හා පාසලේ අනෙක් බලධාරීන් සමග මෙන්ම පවුලේ සාමාජිකයින්, අසල්වාසීන් සහ මිතුරන් සමගද සාමුහිකව ක්‍රියා කිරීමේදී ළමුන්ට උපකාරී වන අන්දමේ ඉතා යහපත් හිතකර ජීවන කුසලතාවක් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමය. කාලයාගේ ඇවෑමෙන් මෙම වැඩ සටහන් ජාලයට සම්බන්ධ ළමුන්ට ආරක්ෂක වැටක් මෙන් රැකවරණය සැලසීම, ඊට සම්බන්ධ වන අපගේ වගකීමක් කොට සලකමු.
  4. ළමුන් අරමුණු කොට ආරම්භ කරන මෙමගින් පාසලේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සම්බන්ධ වන උපදේශකයන්, පවුලේ අය, අසල්වාසීන් මෙන්ම මිතුරන්ද ප්‍රතිලාභ ලබනු ඇත.
  5. මෙම වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ, සතිමත් බව පිළිබඳව ගැඹුරු අවංක දැඩි කැපවීමක් ඇති, එමෙන්ම ශිෂ්‍යයන්ගේ යහපත මුළු හදින්ම ප්‍රර්ථනා කරන, ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන සත්පුරුෂ මණ්ඩලයක් විසිනි.
  6. මේ සියලුදෙනාම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ ස්වේච්ඡාවෙනි. එබැවින් මූල්‍යමය පාරිතෝෂික අපේක්ෂා නොකරති.
  7. යථා කාලයේදී ගුරුවරුන්ම සතිය පුහුණු කිරීමේ උපදේශකයින් හා නියමුවන් ලෙස සේවය කරමින් පාසල් තුළම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය ‘සති පාසල‘ නමැති පාසල් මට්ටමේ වැඩ සටහන නොනවත්වා ජාතික මට්ටම තෙක් ගෙන යාමට රුකුලක් වනු ඇත.

 

සති පාසල වැඩ සටහන‘ ඔබ සැමගේ හා පෙනෙන නොපෙනෙන බලවේගවල උපකාරයෙන් දිනෙන් දින වැජඹේවා!යි පතමු.