Sati Pasala or How to Practice Mindfulness

සතිය 01 – සඳුදා

“සති පාසැල” සංකල්පය යටතේ මේ දෙන පණිවිඩය ඉතාමත් වැදගත් පණිවිඩයක්. එම පණිවිඩය සති පාසැලේ මුල් ගුරුතුමා/තුමියගේ පටන් එම ගුරු මණ්ඩලයටත් උපදේශක භවතුන්ටත් පාසැලේ සිසු සිසුවියන් වන ඔබ සැමටත් එකසේ වැදගත් වන අතර එයින් සැබෑ වෙනසක් ගෙන දෙනවාට කිසිම සැකයක් නැත. මෙහි කියැවෙන සතිය කාටත් එකසේ වැදගත් සේම එහි කිසිම පුද්ගල තාරාතාරමක් නැත. ඒ වගේම කාටත් කාලයක් පුරුදු පුහුණු වෙන්ටත් වෙනව හතර වසරේ ළමයෙක් වගේ. ආධුනිකයෙක් වගේ. ඒ පුහුණුව අපි දන්න හැටියට ළමයින්ට පහසු වෙන්න ඉඩ තියෙනව වැඩිහිටියන්ටත් වඩා. හරි පුදුමයි නේද? ගෙදර සිටින ඔබලාගේ දෙමාපියන්ටද පවුලේ අනෙක් අයටද මෙම “සති පාසැල“ සංකල්පය යහපත් බලපෑමක් කරනු නොඅනුමානය.

සඳුදා අද දින කරන මේ සතිය පිලිබඳ හඳුන්වාදීම ලබන සඳුදාත් තවදුරටත් මෙලෙසටම මතක් කිරීමට බලාපොරොත්තු වෙමු. එසේම එදාට මීට වඩා විස්තර කිරිමට බලාපොරොත්තු වෙමු. විශේෂයෙන් එදාට හතර වසර දරුවකුට නැත්නම් ආධුනිකයෙකුට මෙය වඩාත් පැහැදිලි වන ලෙසට කරුණු දැක්වීමටයි බලාපොරොත්තු වන්නේ.

“සතිය“ කියන මේ පාලි වචනයට සිංහලෙන් කියන්නේ “සිහිය“ කියලයි. තමා කරන කියන දේ සිහිය යොදා කිරීම, මුලු හදින්ම කිරීම, දෝතින්ම කිරීමයි මෙයින් කියැවෙන්නේ. මේකටම පමා නොවීම අප්පමාදය කියලත් කියනව.

පමානොවී එමි අකුරට මෙයින් මතු

කියල කවි පදයකුත් තියෙනවනේ පසැල් දරුවන්ට. තමා කරන කියන දේ සිහිය යොදා කිරීම හරහා පමානොවී කිරිම හරහා සිත ඒ දේට එලඹ සිටිනව. මේක හරි වටින කියන ගුණයක්. එතකොට ඒ දේට මිස වෙන වෙන දේට හිත පිට පනින්නෙ නැහැ.

ඒ නිසා සිහිය එසේ එලඹ සිටියහම තමා කරන කියන දේ හොඳට මතක හිටිනව. මේක තමයි ලැබෙන වාසිය ඉගෙන ගන්න දරුවන්ට. නමුත් කාලයක් පුහුණු කල කෙනෙකුට තමයි ඒ වාසිය හොඳින් වැටහෙන්නේ. මේක පාසැලේ පාඩම් පන්ති වලටත් උවමනයි. අසතියෙන් අසිහියෙන් තමා කරන කියන දේ ඉක්මනට අමතක වෙනව. මොකද හිත තියෙන්නේ අතීතයේ හරි අනාගතයෙ හරි අසිහියෙන් ඉන්න කොට. නැත්නම් හිත තියෙන්නේ වෙන තැනක අසිහියෙන් ඉන්න කොට.

ඉතින් අපි සිහියෙන් ඉන්න උගනිමු මේ සති පාසැල සංකල්පය යටතේ. ඒ හරහ බොහෝ දෙනෙකු යහපත උදාකර ගනිවි මේක දිගට පවත්වන විට. පුංචි ඔබ මුල් කරගෙන මේ සති පාසැල දියත් කෙරුනත් ඒ හරහා ගොඩක් යහපත් දේවල් වෙනව, වෙන්නත් තියෙනව. මේ සති සංකල්පය යටතේ විශාල පිරිසක් සිටිනව ඔබ වටා.