Sati Pasala or How to Practice Mindfulness

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (1 වෙනි ලිපිය)

අපේ ජීවිත වලට නිවාඩුවක් ලැබිලා. අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සේරම ගෙදර. අපි ඒ නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියල බලන්නයි මේ ලිපිය ලියන්නේ.

අවදානම් තත්වයක්. බය, තරහ, ශෝකය මේ හැම දේම අපේ හිත වෙලාගෙන. කොහොමද මේකට මුහුණ දෙන්නේ කියල ආණ්ඩුව හිතනවා. අපිත් අපිට පුළුවන් දෙය කරන්න බලන එක හොඳයි නේද කියල මට මතක් වුනා.

අපිට පුළුවන් උපරිම සහයෝගය රජයට ලබා දෙන්න ඕනි. ඒ උපදෙස් අකුරට පිළිපදින්න ඕනි. මොකද අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහල වැඩක් නැහැ.

අපි කීකරු නොවුනොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගන්න බැරි තරමට ව්‍යාප්ත වුනොත් අපි මොකද කරන්නේ. ඉතින් මේ වෙලාව අපි හොඳ සිහියෙන් නුවනින් වැඩකල යුතු වෙලාවක්.

දැන් මේ හොඳ වෙලාව අපේ ආධ්‍යාත්මික ගුණවගාවන් දියුණු කරගන්න. හැමතැනම රතන සුත්‍රය සජ්ජායනා කරනවා. කරණියඅත්ත සුත්‍රය සජ්ජායනා කරනවා. හැබැයි අපිට අමතකයි බුදුපියාණන් වහන්සේගේ වචන අප්‍රමාදී වෙන්න කියලා කියපු. අපිට අමතකයි ජේසු සමිඳුන් මොනවාද දේශනා කලේ කියල. අපිට අමතකයි ශුද්ධවූ කුරානයේ ලියවිලා තියෙන්නේ මොනවාද කියල.

කමක් නැහැ දැන් ඉතින් හොඳම වෙලාව ඒවා මතක් කරගෙන ප්‍රතිපත්තියේ පිහිටන්න.

දැන් අපේ හිත් වල තියෙන බයට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලමු. බය කියන දෙය හිතට වැඩියෙන්ම දැනෙන්නේ අනාගතය ගැන හිතන කොට. අපි වර්තමානයේ නම් ජිවත් වෙන්නේ මේ බය හිතට දැනෙන්නේ නැහැ.

වර්තමානයේ ඉන්නේ කොහොමද? වර්තමානයේ ඉන්න ක්‍රම ගොඩක් බුදුපියාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මේවා සතර සතිපට්ටාන සුත්‍රයේ දේශනා කරලා තියෙනවා. එත් මම කියන්න යන්නේ එහෙම ගැඹුරු කාරනා ගැන නෙමෙයි.

දැනටමත් සතිය පුහුණු කරල තියෙන කෙනෙකුට නම් මේක සතිය වඩන්න හොඳ අවස්තාවක් එහෙම නැත්නම් උත්සාහ කරලා බලන්න දැන් මේ වෙලාවේ කරන වැඩය ගැන 100% යෙදෙන්නේ කොහොමද කියල. දැන් ඔයා මේ පිටුව කියවන වෙලාවේ කියවන්නෙක්. ඒ බව හිතේ තියාගෙන මේ කියවීමට සම්පුර්ණයෙන් හිත යොදාගෙන කියවනවා නම් ඔයා සතිමත්. මේක කියවල ඉවරවෙලා මේ කිව්වේ මොකක්ද කියල තවදුරටත් හිතන්න ඕනි නම් හොඳට හරි බැරි ගැහිලා පුටුවක හරි කැමති තැනක පහසුවෙන් වාඩිවෙන්න.

දැන් වාඩි වෙලා මම දැන් වාඩිවෙලා කියල දැනෙන ස්වභාවයට හිත 100%ක් යොදන්න. කොහොමද දන්නේ වාඩිවෙලා ඉන්නේ කියල. මගේ කකුල් දණහිස ලඟින් නැමිලා තියෙන්නේ. මුළු කඳේ බරම පස්සට දැනෙනවා. පස්සට වාඩිවෙලා ඉන්න පුටුවේ තද ගතිය දැනෙනවා. මම ලිව්වේ මට දැන් දැනෙන විදිහ. මේ වගේ ඔයාලටත් දැනෙන විදිහක් ඇතිනේ. අන්න ඒ දැනෙන, එක දෙයක් කෙරෙහි හිත 100% ක් තබා ගන්න. හිත පිට යයි. කමක් නැහැ ආයෙම හිත මේ ශරීරය වාඩිකරලා තියෙන්නේ කියල දැනෙන ස්වභාවයට හිත ගන්න. මේ විදිහට ටික වෙලාවක් ඉන්න. මේකට අපි කියනවා වාඩිවෙලා ඉන්න කොට සතිමත් වෙනවා කියල. අමාරු නැහැ නේ? මේ ටික අද දවසේ හැකි හැම වෙලාවකම කරලා බලන්න.

මතක තියාගන්න පළපුරුදු අයට මෙහෙම ඉන්න කොට හුස්ම වැටෙන හැටි තේරෙයි. ඒ ගැන පස්සේ දවසක කතා කරමු.

දැන් තව දෙයක් ගෙදර ඇතුලටම වෙලා ඉඳල එපා වෙලා නම් දැන් මිදුලට බැහැල පොඩ්ඩක් සක්මන් කරන්න. ඒකත් එච්චර අමාරු නැහැ.

හා දැන් මිදුලට යන්නකෝ. පහසුවෙන් ඇවිදින්න පුළුවන් තැනක් සොයාගෙන කෙළවරකට ගිහින් හිටගන්න. දැන් මිදුලේ හිටගෙන ඉන්නේ කියල හොඳට හිතට ගන්න. දැන් බලන්න ඔයා ළඟ අන්ධ මනුෂයෙක් ඇස පෙනෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. ඔයා කොහොමද එයාට කියන්නේ මම දැන් හිටගෙන් ඉන්නේ කියල. මතක තියාගන්න එයාට පෙන්නේ නැහැ. අන්න ඒ වාගේ කෙනෙකුට කියන්න මම හිටගෙන ඉන්නේ කියල විස්තර හොයන විදිහට, හිටගෙන ඉන්න දිහා බලාගෙන විස්තර හොයන්න හිටගෙන ඉන්න විදිහේ. මම මෙහෙම කියන්නම්කො. මම දැන් හිටගෙන ඉන්නේ කියල මට දැනෙන්නේ මගේ මුළු ශරීරයේ බර කකුලේ පතුල වලට දැනෙනවා. පතුලට පොළොවේ සීතල දැනෙනවා. කොඳු නාරටිය කෙලින් තියෙනවා දැනෙනවා. හා දැන් බලන්න ඔයාට කොහොමද දැනෙන්නේ කියල. මේකට කියනවා හිටගෙන ඉන්න විදිහ ගැන සතිමත් වෙනවා කියලා. මේ විදිහටම ඇවිදිනකොටත් හාන්සි වෙලා ඉන්නකොටත් ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න පුළුවන්.

අද දවසේ මේ කිව්ව දේවල් කරන්න පුළුවන් ද කියල බලන්න. පුළුවන් හැමවෙලාවෙම ගෙදර අනිත් අයටත් කියන්න මෙහෙම් ඉන්න පුලුවන්ද කියල බලන්න කියල. සතිමත්ව ඉන්නකොට හිතට දැනෙන බය, ශෝකය, වගේ දේවල් වලට ඉඩක් නැහැ. දැනුනත් ආයෙමත් ඉන්න ඉරියව්වට හිත ගන්න.

අදට නවතින්නද? ආයෙත් දවසක මුණගැහිලා බලමු කොහොමද මේ සතිමත් බව තවදුරටත් දියුණු කරගන්නේ කියල. මේ අනිවාර්ය නිවාඩු කාලේ සතියෙන් ඉන්න උත්සාහ කරමු නේද?

ගිහිල්ල එන්නම්.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.